ඉන්දියාවේ ගල් අඟුරු ප්‍රවාහනය කඩිනම් කිරීමට මගී ප්‍රවාහන දුම්රිය අවලංගු කෙරේ
2022-05-01 17:16:52
Share with:

ඉන්දියාවේ ගල් අඟුරු ප්‍රවාහනය  සඳහා මගී ප්‍රවාහන දුම්රිය අවලංගු කෙරේ. රට පුරා මගී ප්‍රවාහන දුම්රිය ගමන් වාර 42ක් එසේ අවලංගු කළ බව බලධාරීහු පවසති. ප්‍රාන්ත රැසක තාප විදුලි බලාගාරවල කටයුතු, ගල් අඟුරු සංචිත හිඟය හේතුවෙන් ඇණහිටීම නිසා  මේ පියවර ගෙන තිබේ.

මේ තත්ත්වය මත අවලංගු කරන ලද සමස්ත දුම්රිය ගමන් වාර ගණන 753 කි. ගල් අඟුරු නිෂ්පාදනය කෙරෙන ප්‍රධාන ප්‍රාන්ත වන චාටිස්ගර්, ඔඩිස්සා, මධ්‍ය ප්‍රදේශ් සහ ජර්ඛන්ද් ප්‍රාන්තවල ජනතාව මේ තත්ත්වයෙන් දැඩි පීඩාවට පත් ව සිටින බව වාර්තා වේ.

මේ පිළිබඳව, දිල්ලියේ ප්‍රාදේශීය විදුලිබල අමාත්‍ය Satyendar Jain පැවසුවේ, අගනුවර විදුලි සැපයුම එක් දිනක හෝ අඩාල වුවහොත්, රජයේ රෝහල් හා මෙට්රෝ දුම්රිය ප්‍රවාහනය වැනි පුළුල් සේවාවන් ඇණහිටිනු ඇති බවයි. විදුලිය රැස් කර තබා ගත නොහැකි බවත්, ගෙවීම්වල කිසිදු හිඟයක් නොපවතින බවත් ඔහු පැවසීය. එසේම  මධ්‍යම රජයේ සම්බන්ධීකරණ අකාර්යක්ෂමතාව නිසා සිදුවන මෙවන් අක්‍රමිකතා පිටුදැකීමට ක්‍රියා කළ යුතු බව ද විදුලිබල අමාත්‍යවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන්, දිල්ලියේ ප්‍රධාන අමාත්‍ය Arvind Kejriwal පවසන්නේ, කෙසේ හෝ විදුලිය සපයා, අර්බුදයට කඩිනම් ස්ථාවර විසඳුමක් සෙවිය යුතු බවයි. රාජස්ථාන්, ආන්ද්‍රා ප්‍රදේශ්, උත්තර් ප්‍රදේශ්, ගුජරාට්, මහාරාෂ්ට්‍ර, පංජාබ් සහ හර්යානා ඇතුළු ප්‍රදේශ අතිවිශාල සංඛ්‍යාවක මේ වනවිට විදුලි කප්පාදුවට පියවර ගෙන තිබේ.

මේ අතර, තමන් සතුව ටොන් මිලියන 73 ක පමණ ගල්අඟුරු පවතින බවත්, පවතින තත්ත්වය මත නොසන්සුන් විය යුතු නැති බවත් ගල්අඟුරු සමාගම් බලධාරීහු පවසති.  ඉන්දියාවේ සමස්ත විදුලි සැපයුමෙන් 70%ක් නිපදවනු ලබන්නේ ගල්අඟුරු භාවිතයෙනි.විදුලි කප්පාදුවෙන් එරට ජන ජීවිතයට මෙන්ම කර්මාන්තවලට දැඩි බලපෑමක් එල්ල වී ඇත.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම