“‘ගෝලීය ආරක්ෂක මුලපිරුම’ සැබෑ කලාපීය බලවතකුගේ වගකීම් සහගතභාවය ප්‍රකට කරයි” - ප්‍රවීණ දේශපාලන විද්‍යා දේශක ජයන්ත හේවගේ
2022-04-30 15:22:59
Share with:

මෙවර බෝආඕ ආසියානු සංසදයේ 2022 වාර්ෂික රැස්වීමට එක් වූ චීන ජනාධිපති ෂී ජීන් පිං මහතා,  එහිදී ලොවට ‘ගෝලීය ආරක්ෂක මුලපිරුම’ හඳුන්වා දී තිබේ. එය කලාපීය බලවතකු සතු විය යුතු මනා වගකීම් සහගතභාවය ප්‍රකට කරන අවස්ථාවක් බව ප්‍රවීණ දේශපාලන විද්‍යා දේශක ජයන්ත හේවගේ මහතා පෙන්වාදෙයි. චීන ජනාධිපතිවරයා මෑතකාලීනව එක් වූ ජාත්‍යන්තර සංසද ගණනාවකදී ගෝලීය ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කර තිබීම කැපී පෙනෙන කරුණකි.

එමෙන්ම “ආරක්ෂාව යනු සංවර්ධනයේ කේන්ද්‍රයයි”යන්න හෙතෙම මෙහිදී විග්‍රහ කරන අදහසයි. සීතල යුද චින්තනයෙන් මෙන්ම බලලෝභී දේශපාලනය ක්‍රියාත්මක කිරීමෙන් සිදුවන්නේ ලෝක සාමය විනාශ වීම පමණක් බව පවසන චීන ජනාධිපතිවරයා යෝජනා කරන මෙම ගෝලීය ආරක්ෂක මුලපිරුම සැබෑ බහුපාර්ශ්වවාදයට නව අර්ථකථනයක් සපයා ඇත. එනම්, මෙහිදී යහපත සැලසෙන්නේ එක් රටකට හෝ කණ්ඩායමකට පමණක් නොවේ. කලාපීය ආරවුල් සහ ත්‍රස්තවාදය, දේශගුණික විපර්යාස සහ සයිබර් ආරක්ෂාව වැනි ලොව රටවල් මුහුණදෙන ප්‍රධාන ගැටළුවලට ඒකාබද්ධව විසඳුම් සෙවීමට මෙහිදී අවස්ථාව උදාවනු ඇත.

මෙය ආසියානු කලාපයේ ශක්තිමත් භාවයට ද  ප්‍රබල පිටුබලයක් සපයනු ඇතැයි ජයන්ත හේවගේ මහතා විශ්වාසය පළකරයි.  ඒ අනුව, ෂී ජින් පිං මහතාගේ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව යන සංකල්පය ප්‍රායෝගිකව ගොඩනැගීමේදී, ලෝක සාමය සහ ආරක්ෂාව ප්‍රවර්ධනයට මෙම මුලපිරුමෙන් ප්‍රශස්ත සහයක් සැලසෙනු ඇත.

එසේම, සීතල යුද්ධයෙන්  පසුව නැගෙනහිර රාජ්‍ය බිද වැටීම සහ බටහිර රාජ්‍ය ව්‍යාප්තවීමෙන් ලෝකයට යහපත් ප්‍රතිඵල අත් වී නොමැති බව පසක් වන්නේ, තුන්වන ලෝකයේ රටවලට ඇතිවී තිබෙන විපත්තිදායක තත්වය දෙස හොඳින් විමසා බැලීමෙනි. එය ආසියානු, අප්‍රිකානු ලතින් ඇමරිකානු රාජ්‍යවලට දැඩි බලපෑමක් එල්ලකර ඇත. එබැවින් ගෝලීය සාමය මිත්‍යාවක් වී ඇති මෙවැනි පසුබිමක් තුළ, චීන ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය ලොවට මහත් අස්වැසිල්ලක් බව ප්‍රවීණ දේශපාලන දේශක ජයන්ත හේවගේ මහතා පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම