ආර්ථික අර්බුදයෙන් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන බව මුදල් ඇමති කියයි
2022-04-14 18:18:43
Share with:

පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට මේ වසරේ ඩොලර් බිලියන 3 ත් 4 ත් අතර මුදලක් අවශ්‍ය වන බව, මුදල් ඇමති අලි සබ්‍රි මහතා පවසයි. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. රටේ ආර්ථික සුරක්ෂිතතාව වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ යහපත් තොරතුරු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා කියා සිටියේ, බ්ලූම්බර්ග් නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

ලබන 18 වැනිදා වොෂින්ටනය සමග සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බවත්, එම සාකච්ඡා සාර්ථක වුවහොත් සතියකට පසු හදිසි සහන අරමුදල් බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා කියයි. ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රමුඛත්වයෙන් යුතු රජයට තවමත් පාර්ලිමේන්තුවේ බහුතරය පවතී. නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පවත්වන කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෝ වෙති.

ශ්‍රී ලංකාව මූල්‍යකරණ විකල්ප අපේක්ෂාවෙන් සිටින අතර, චීනය සහ ඉන්දියාව ඇතුඑ රටවලින් ආධාර ලබාගත හැකිවනු ඇතැයි විශ්වාස කරන බව ද මුදල් අමාත්‍යවරයා පැවසීය. වියදම් කපා හැරීම සහ ආදායම් ඉහළ නැංවීම සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ සිදුකෙරෙනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

 

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම