චීන-ශ්‍රී ලංකා කලණ මිතුරු සහයෝගයේ නූතන පරිච්ඡේදය වර්තමානයේ ලියැවෙමින් පවතී
2022-04-08 10:05:30
Share with:

චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රශීලී සබඳතාවන්ට දිගු ඉතිහාසයක් පවතී. ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේ දෙරට අතර පැවති සබඳතාවලට ඉතිහාසය සාක්ෂි දරයි. එතැන් සිට ක්‍රමිකව ගලාගිය මේ බැඳීම වර්තමානයේ වර්ධනීය අදියරක් සටහන් කර ඇතැයි මාධ්‍යවේදී චමින්ද ගුණරත්න මහතා කියාසිටී. 1952 රබර් සහල් ගිවිසුම මෙහි සන්ධිස්ථානගත සිදුවීමයි. එසේම, 1957 ඇරඹුණු නිල සබඳතාවන්ට මේ වසරේදී 65 වසරක් සපිරෙයි.

චීන මහජන සමූහාණ්ඩුව පිළිගත් මුල්ම රටවල් අතර ශ්‍රී ලංකාව ද විය. එතැන් පටන් මෙරට බලයට පත් සෑම රජයක්ම  චීනය සමග ක්‍රියා කළේ,  අතිශය මිතුරු ආකල්පයකිනි. චීනය ද කලාපීය බලවතකු ලෙස මීට යහපත් ප්‍රතිචාර දක්වමින් ක්‍රියා කළ බව කිව යුතුය. යුද්ධය පැවති කාලයේ ආරක්ෂක හා තාක්ෂණික සහයෝගීතාව මෙහිදී කැපීපෙනේ. ඉන්පසු ජිනීවා හි පැවති මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාව මුහුණ පෑ අභියෝග හමුවේ චීනය එකහෙළා ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියේය.

එසේම ශ්‍රී ලංකාවේ සංවර්ධනාත්මක පිබිදීමක් උදෙසා චීනයෙන් සැපයෙන පිටුබලය අතිමහත්ය. තාක්ෂණික සහය මෙන්ම මූල්‍ය සහය ද මීට ඇතුළත් වේ. වරාය, ගුවන්තොටුපොළ, අධිවේගී මාර්ග ඇතුළු නොයෙකුත් යටිතල පහසුකම් ගොඩනැගීමේදීත් චීනයේ සහය අතිශයින්ම ප්‍රශංසනීය තලයක පවතී.

බලශක්ති අර්බුදය පිටුදැකීම සඳහා චීනයේ දායකත්වය සිහිපත් කිරීමේදී නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරය සිහිපත් කළ යුතුමය. මේ ආකාරයෙන් ඓතිහාසිකව ආ මිතුදම ශක්තිමත්ව පවත්වාගෙන යාමට චීනය මග පාදා දී ඇති බව චමින්ද ගුණරත්න මහතා පෙන්වාදෙයි. අප රටේ මෑතකාලීන සංවර්ධන ව්‍යාපෘති සඳහා චීනයේ අතහිත විමසීමේ දී හමුවන විශිෂ්ටතම නිදසුන වන්නේ වරාය නගරයයි.

කොවිඩ් වසංගත අර්බුදයේ දී එන්නත් සහයෝගය, ආහාර සැපයීම් වැනි කලණ මිතුරු සහයෝගයන් ඔස්සේ දෙරට අතර ඓතිහාසික සබඳතාවයේ නූතන පරිච්ඡේදය ලියැවෙමින් පවතින බව මාධ්‍යවේදී චමින්ද ගුණරත්න මහතා ප්‍රකාශ කරයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම