චීනයේ ආනයනයන හා අපනයන යන දෙකම ඉහළ යාම තුළින්, ගෝලීය ආර්ථිකය තව තවත් චීනය මත යැපීම වැඩි වන ලකුණු
2020-12-07 21:36:37
Share with:

අද  (07) චීන රේගු මහ පරිපාලනය නවතම සංඛ්‍යා ලේඛන නිකුත් කළේ ය. එම සංඛ්‍යා ලේඛන අනුව පසුගිය නොවැම්බර් මස චීනයේ විදේශ වෙළඳ ආනයනයෙන් හා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 460කට වැඩි වටිනාකමක් නිර්මාණය වී ඇත. එය 13.6%ක වර්ධනයකි. ඒ අතරින් ආනයනය 4.5%කින් ද අපනයනය 21.1%කින් ද වර්ධනය වී තිබේ. චීනයේ ප්‍රබල අපනයන වර්ධනය ඉතා කැපී පෙනේ. එය, මීට පෙර Bloomberg ආයතනයේ විශ්ලේෂකයන් ඇස්තමේන්තු කළ 12%ක වර්ධනය ද ඉක්මවා යාමකි.

පසුගිය නොවැම්බර් මාසය වන විට චීනයේ අපනයනය මාස 6ක් තිස්සේ ධනාත්මක ලෙස වර්ධනය වී ඇත. එමෙන් ම චීනයට ආනයනය කළ භාණ්ඩ ප්‍රමාණය ද විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. චීන දේශීය පරිභෝජන අවශ්‍යතා ‍‍නොකඩවා ම වර්ධනය වෙමින් පවතී. අන්තර්ජාල වෙළඳාම තව තවත් වර්ධනය වී‍මෙන් එම අවශ්‍යතා වඩාත් වේගයෙන් සපුරාලීමට පහසු මාර්ගයක් සපයා දෙයි. මෙය චීනයේ ආනයන වෙළඳාමේ වර්ධනයට තුඩු දෙන වැදගත් සාධකයක් බව ආර්ථික වි‍ශ්ලේෂකයන්ගේ මතය වේ.

චීනයේ විදේශ වෙළඳාම ස්ථිර ලෙස පුනරුත්ථාපනය වෙමින් පවතින බැවින් එය ගෝලීය නිෂ්පාදන හා සැපයුම් දාමයන් සඳහා වැදගත් ගාමක බලයක් ලබා දී ඇත. මේ වසරේ මුල් මාස 11 තුළ ආසියාන් සංවිධානය, යුරෝපා සංගමය , ඇමරිකාව, ජපානය හා දකුණු කොරියාව යන ප්‍රධාන වෙළඳ හවුල්කරුවන් පහ සමග චීනය සිදු කළ ආනයන හා අපනයන වෙළඳාම් සියල්ල ම වර්ධනයක් අත්කරගෙන තිබේ.මේ වන විට ලොව ප්‍රධානම ආර්ථිකයන්හි අපනයනය තුළ චීනයට හිමි අනුපාතය නොකඩවා ම ඉහළ ගොස් ඇත. ගෝලීය ආර්ථිකය චීනය මත යැපීම තව තවත් වැඩි වීමේ ලකුණක් එමගින් පහළ වෙමින් පවතී. බොහෝ ජාත්‍යන්තර සංවිධාන තක්සේරු කර ඇත්තේ මේ වසරේ ධනාත්මක වර්ධනයක් අත්කර ගන්නා එකම ප්‍රධාන ආර්ථිකය චීනය බවයි. චීනය ගෝලීය වෙළඳාමෙහි ප්‍රබල "ස්ථායීකාරකය" බවට පත්ව තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන