ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයෙන් විජය පුවත්පත් සමාගමේ සභාපතිට විවෘත ලිපියක්

2020-04-09 10:55:29
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශක ලෝ චුන්ග් මහතා විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජේවර්ධන මහතා වෙත විවෘත ලිපියක් යොමු කරයි.

ඊයේ (08) නිකුත් කළ එම ලිපියෙන් ලෝ චුන්ග් මහතා අවධානය යොමුකර ඇත්තේ විජය පුවත්පත් සමාගමට අයත් පුවත්පත් දෙකක පළ කළ වගකීම් විරහිත හා වෛරය ඇවිස්සෙන සුළු ලිපි 3ක් පිළිබඳව චීන තානාපති කාර්යාලයේ දැඩි ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමයි.

චීන තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද එම විවෘත ලිපිය මගින් Daily Mirror සහ Sunday Times පුවත්පත් ප්‍රකාශයට පත් කළ වගකීම් විරහිත ලිපි 3 ක් පිළිබඳව ලෝ චුන්ග් මහතා අවධානය යොමුකර ඇත.

යමෙකු වැරදි තොරතුරු මගින් අන්ධ වී හෝ විවිධ න්‍යාය පත්‍රයන් මගින් මෙහෙයවා පදනම් විරහිත ප්‍රකාශ කිරීම පුදුමයක් නොවන බව පවසන ලෝ චුන්ග් මහතා ශ්‍රී ලංකාවේ මනා කීර්තිමත් හා ගෞරවනීය මාධ්‍ය ආයතනයක් වන විජය පුවත්පත් සමාගම සංවේදී නොවී වෛරී කථා ප්‍රකාශයට පත් කිරීම පිළිගන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටී.

ඔහු පැවසුවේ පසුගිය දින කිහිපය තුළ, චීනයේ සහ ශ්‍රී ලංකාවේ මිතුරන් කිහිප දෙනෙකු එම ලිපිවලට එරෙහිව ඔවුන්ගේ අප්‍රසාදය හා අමනාපය චීන තානාපති කාර්යාලය වෙත ප්‍රකාශ කර ඇති බවයි.

මෙම ලිපි, මූලික කරුණු නොමැතිව, දැනුම සහ දයානුකම්පාව නොමැතිව, අගතියෙන්, වර්ගවාදයෙන් හා වෛරී ප්‍රකාශයන්ගෙන් පිරී ඇති අතර, පැහැදිලිවම විජය පුවත්පත්වල දැක්ම වන “වඩාත්ම ස්වාධීන හා සමාජීය වශයෙන් වගකිව යුතුය”යන්නට ද විරුද්ධ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශක ලෝ චුන්ග් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

එහි කරුණු සාමාන්‍ය බුද්ධියට හා මනුෂ්‍යත්වයට මුළුමනින්ම විරුද්ධ වන අතර විශේෂයෙන්ම වර්තමාන තත්වය යටතේ, මානව වර්ගයාගේ පොදු සතුරෙකු වන කොරොනා වෛරසයට එරෙහිව ශ්‍රී ලංකාව සහ චීනය යන රටවල් දෙකම එක්ව සටන් කරන විට, මෙම අපකීර්තිය සහ වෙනස් කොට සැලකීම කිසිසේත්ම සුදුසු හෝ ප්‍රයෝජනවත් නොවන බව ඔහු සිය විවෘත ලිපියෙන් අවධාරණය කර ඇත.

ඔහු සිය විවෘත ලිපියේ වැඩිදුරටත් සඳහන් කරන්නේ වසංගතය වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා විවෘත, විනිවිද පෙනෙන හා වගකිවයුතු ආකාරයකින් චීන රජය කාලෝචිත ලෙස වඩාත් පුළුල්, දැඩි හා ගැඹුරු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

COVID-19 වෛරසයට එරෙහි සටන තවදුරටත් එක් නගරයක හෝ එක් රටක සටනක් නොවන අතර එය දෙවන ලෝක යුද්ධයෙන් පසුව සියලුම මානව වර්ගයා සඳහා බලපෑ විශාලතම අභියෝගය බවට පත්ව ඇත.

අප තවමත් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිය ද, රෝග විනිශ්චය සහ ප්‍රතිකාර අත්දැකීම් බෙදා ගැනීම, වෛද්‍ය කාර්ය මණ්ඩල යැවීම හා සියලු ආකාරයේ වෛද්‍ය සැපයුම් සම්පාදනය කරමින් චීන රජය රටවල් 100 කට වැඩි සංඛ්‍යාවකට විවිධාකාර සහය ලබා දී ඇත.

වසංගතයට එරෙහි සටන ජය ගත හැකි යැයි තමන් ස්ථීරව විශ්වාස කරන බව පවසන ලෝ චුන්ග් මහතා එය ජයගත හැක්කේ දේශපාලන, ආගමික හා සංස්කෘතික වෙනස්කම් නොතකා සියලු රටවල ඒකාබද්ධ උත්සාහයෙන් පමණක් බව ද අවධාරණය කරයි.

කොරොනා වසංගතයට එරෙහි සටනේදී අපේ රටවල සහ සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය වෙනුවෙන් විජය පුවත්පත් සමාගම ඇතුළු සමස්ත මාධ්‍ය වඩාත් වගකිවයුතු හා හිතකර කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ඔහු සිය විවෘත ලිපියෙන් පවසා ඇත.


වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති