විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

2018-10-09 17:10:55
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

ලබන වසරේ අයවැයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිතුක් කළ නිවේදනයක දැක්වෙන්නේ, ලබන වසරේ ණය ආපසු ගෙවීම සඳහා රුපියල් බිලියන 2,057 ක් වැය වන බවයි.

එය ඉතිහාසයේ ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීමට වැය කරන වැඩි ම මුදල බව ද අමාත්‍යාංශය පවසයි.

විසර්ජන පනත් කෙටුම්පතට අනුව අධිවේගී මාර්ග ව්‍යාපෘති සඳහා වෙන් කෙරෙන මුදල රුපියල් බිලියන 175කි.

දක්ෂිණ අධිවේගී මාර්ගය මත්තල දක්වා සංවර්ධනය කිරීම, කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩවත කෙරවලපිටිය අතර කොටස අවසන් කිරීම, මධ්‍යම අධීවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටස හා පෑලියගොඩ සිට කොළඹ වරාය දක්වා කණුමත ඉදිවන වරාය පිවිසුම් මාර්ගය සඳහා මෙම මුදල් වෙන්කෙරෙනු ඇත.

මොරගහකන්ද හා උමාඔය ව්‍යපෘති අවසන් කිරීම සඳහා තවත් රුපියල් බිලියන 75 ක් වෙන්කෙරන අතර ග්‍රාම ශක්ති, ගම්පෙරළිය හා එක ගමකට එක වැඩක් ව්‍යාපෘති සඳහා තවත් රුපියල් බිලියන 63 ක් වෙන්කර තිබේ.

පෑලියගොඩ, අලුත්පාලමේ සිට ඉදිවන සැහැල්ලු දුම්රිය මාර්ගය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 5කි.

ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 306 ක් වෙන්කර ඇති අතර එය අමාත්‍යංශයක් සඳහා වෙන්කර ඇති වැඩිම මුදල බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

පළාත් සභාවල එදිනෙදා වියදම් සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 221කි.

විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ රජයේ මුළු වියදම රුපියල් බිලියන 4376 ක් වේ.

මෙවර අයවැය යෝජනා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාවරයා විසින් නොවැම්බර් මස 5 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති