හොංකොං හි ජාතික ආරක්ෂක නීතිය පිළිබඳව ඇමරිකාවේ චීන තානාපතිවරයාගෙන් ලිපියක්

2020-05-31 18:13:42
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

හොංකොං හි ජාතික ආරක්ෂක නීතිය පිළිබඳව ඇමරිකාවේ චීන තානාපති Cui Tian Kai මහතා ලිපියක් පළ කරයි.

ඔහු ඊයේ (30) bloomberg.com වෙබ් අඩවියේ “ එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිය සහතික කරමින්, හොංකොං හි ස්ථාවර සංවර්ධනය ආරක්ෂා කරන්නෙමු ”යන මැයෙන් යුත් ලිපියක් පළ කළේ ය. සම්ප්‍රදාය හා නවීකරණය එක්තැන් වන හොංකොං කෙරෙහි තමන් තුළ ගැඹුරු හැඟීම් තිබෙන බවත්, පසුගිය වසරේ හොංකොංහි නිරන්තරයෙන් සිදු වූ ප්‍රචණ්ඩත්වය දුටු තමන්ට වේදනාවක් ඇති වූ බවත්, Cui Tian Kai මහතා සිය ලිපියෙහි ප්‍රථමයෙන් සඳහන් කළේ ය. බ්‍රිතාන්‍යයේ යටත්විජිත පාලනයෙන් මිදී ආපසු මව්රටට එක් වීමෙන් පසු, “එක් රටක් ක්‍රම දෙකක්” ප්‍රතිපත්තිය යටතේ විශේෂ පරිපාලන කලාපයක් වශයෙන් හොංකොං හි උපරිම ස්වයංපාලනයක් පවතී. ජාතික ආරක්ෂාව වෙනුවෙන් ස්වයං නීති සම්පදානය කර, එමගින් අදාළ ආරක්ෂක නීති සකස් කිරීමේ අයිතිය හොංකොං ට ලැබී ඇතත්, චීනයට එක් වී ගත වූ වසර 23 තුළ යම් යම් හේතු මත එම නීතිය සම්පාදනය කර නොමැත. හොංකොං හි පවතින මෙවන් තත්ත්වය හේතුවෙන්, බෙදුම්වාදීන් ඇතුළු චීනයට එරෙහි විවිධ බ‍ලවේග, හොං‍කොංහි කටයුතුවලට අයුතු ලෙස මැදිහත් වෙමින්, හොංකොංහි ස්ථාවරත්වයට හා ආරක්ෂාවට පමණක් නොව, චීන ජාතිකාරක්ෂාවට ද විශාල හානි සිදු කර තිබේ. එබැවින් හොංකොං හි ජාතික ආරක්ෂක නීතිය සම්පාදනය කිරීම දැඩි අවශ්‍යතාවක් බව, Cui Tian Kai මහතා පෙන්වා දෙයි. කුමන රාජ්‍ය පරිපාලන ක්‍රමයක් අනුගමනය කළ ද ඕනෑ ම රටකට සිය ජාතිකාරක්ෂාව වෙනුවෙන් උත්තරීතර නීති සම්පාදක බලය හිමි වන බවත්, චීනයේ උත්තරීතර නීති සම්පාදක ආයතනය වශයෙන්, චීන ජාතික මහජන කොංග්‍රසයට හොංකොංහි ජාතික ආරක්ෂක නීතිය සම්පාදනය කිරීමේ බලතල තිබෙන බවත්, ඔහු අවධාරණය කරයි. ජාතිකාරක්ෂාව නොමැතිව, එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තියට ඉඩක් නැතැයි ද, ජාතිකාරක්ෂාව නොමැතිව,හොංකොංහි දිගුකාලීන සමෘද්ධියක් ද නැතැයි ද ,ඇමරිකාවේ චීන තානාපතිවරයා සිය ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති