චීන මහජන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සරයට විවිධ පාර්ශ්වයන්ගෙන් සුභපැතුම්

2019-10-01 16:15:44
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා කථානායක කරූ ජයසූරිය මහතා සිය සුභපැතුම් පිරිනමයි.

ඔහු සඳහන් කළේ ගෙවී ගිය කාලය තුළ චීනය වේගවත් සංවර්ධනයක් අත්කර ගනිමින් විවිධ ක්ෂේත්‍රවලින් ලෝකයට ආදර්ශයක් සපයා ඇති බවයි.

ශ්‍රී ලංකාව හා චීනය අතර සම්බන්ධතාවට දිගු ඉතිහාසයක් ඇති බව පෙන්වා දුන් කථානායකයා දෙරට ජනතාව අතර අන්‍යෝන්‍ය විශ්වාසය හා ආදරය ඉතිහාසයේ විවිධ අවස්ථාවල අත්විඳ ඇතැයි ද ප්‍රකාශ කළේය.

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා ද සිය සුභපැතුම් පිරිනමා ඇත.

ඔහු පැවසුවේ පසුගිය වසර 70ක කාලය තුළ චීන මහජන සමූහාණ්ඩුව ලබා ඇති ආර්ථික සංවර්ධනය හා සමාජ ප්‍රගතිය විස්මයජනක බවයි.

ජාත්‍යන්තර වේදිකාවේ ප්‍රමුඛ රටක් විදිහට චීන මහජන සමූහාණ්ඩුව ලබාගෙන තිබෙන ජයග්‍රහණයන්ට ශ්‍රී ලංකාවේ නේවාසික තානාපතිවරයා හැටියට චීන දේශපාලන නායකයින්ටත්, චීන කොමියුනිස්ට් පක්ෂයටත්, මහජනතාවටත් ශ්‍රී ලංකාවේ උණුසුම් සුභ පැතුම් එක් කරන බව හෙතෙම පැවසීය.

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩියු ගුණසේකර මහතා ද සුභපැතුම් පිරිනමා තිබේ.

ඔහු පැවසුවේ චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමෙන් පසුව ගත් ආර්ථික ක්‍රියාමාර්ග මුළු ලෝකයම මවිතයට පත් කර ඇති බවයි. චීනය මේ වන විට ලොව දෙවැනි විශාලතම ආර්ථිකය හිමි රට බවටත්, විශාලතම ආනයන හා අපනයනකරු බවටත්, විදේශ සංචිතය අතින් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3 ක් හිමි එකම රාජ්‍යය බවටත් පත්ව ඇතැයි හෙතෙම පැවසීය.ඔහු සඳහන් කළේ ‍මුළු ලෝකයටම අද චීනය නොමැතිව කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති