චීන ජනාධිපති ෂී ජින්පිං මහතා 2018 අලුත් අවුරුදු සුබ පැතුම් පිරිනමයි

2017-12-31 19:07:30
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn


චීන ජනාධිපති ෂී ජින්පිං මහතා 2018 අලුත් අවුරුදු සුබ පැතුම් පිරිනමයි

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා 2018 අලුත් අවුරුදු සුබ පැතුම් පිරිනමයි

ලබන්නා වූ නව වසර වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය, චීන මහජන ගුවන් විදුලිය, චීන මධ්‍යම රූපවාහිනිය, චීන ගෝලීය රූපවාහිනී ජාලය සහ අන්තර්ජාලය ඔස්සේ පළ කරන සුබ පැතුම් පණිවිඩය මෙසේය:


සහෝදරවරුනි, මිත්‍රවරුනි, නෝනාවරුනි, මහත්වරුනි,

ආයුබෝවන්! කාලය ඉක්මනින් ගෙවී ගොස් ඇත. 2018 වසර උදා වෙමින් පවතින මේ මොහොතේ චීනයේ විවිධ ජාතීන්ගේ ජනතාව, හොංකොං හා මැකව් විශේෂ පරිපාලන කලාපවල ජනතාව, තායිවාන ස්වදේශිකයන් සහ එතෙර චීන ජාතිකයන් වෙත මම නව වසරේ සුබ පැතුම් පිරිනමමි. එමෙන් ම ලෝකවාසී මිතුරන් වෙනුවෙන් මම නව වසරේ සුබාශිංසන පුද කරන්නටද කැමැත්තෙමි.

කාලයාගේ ඇවෑමෙන් ලෝකය දිනෙන් දින වෙනස් වුවද උත්සාහවන්ත භාවයෙන් යහපත ලැබෙන බව අපගේ විශ්වාසයය. 2017 වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වන ජාතික නියෝජිත සම්මේලනය පැවැත්විණ. එහිදී චීනය සමාජවාදී නවීකරණ රටක් වශයෙන් ගොඩ නැගීමේ නව කාලපරිච්ඡේදයක් ආරම්භ විය. මේ වන විට අපගේ දළ දේශීය නිෂ්පාදිතය චීන යුවන් ට්‍රිලියන 80ක් ඉක්මවා ගොස් තිබේ. නගරවල හා ගම්මානයන්හි නව රැකියා අවස්ථා මිලියන 13ක් පමණ නිර්මාණය වී ඇත. වියපත් රක්ෂණ සේවාව රටේ කෝටි 90කට වැඩි පිරිසක් ආවරණය කර තිබෙන අතර මූලික වෛද්‍ය රක්ෂණ සේවාවෙන් බිලියන 1.35ක පිරිසකට සෙත සැලසී ඇත. ග්‍රාමීය ජනගහනය මිලියන 10කට වැඩි සංඛ්‍යාවක් දිළිඳුකමින් මුදා ගැනීමට හැකිවී ඇත. දිළිඳුභාවයෙන් නිදහස් කළ ජනතාවට සැපපහසු නිවාස පහසුකම් ලබාදීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව ඔවුන්ගෙන් මිලියන 3.4ක පිරිසකට තමන් පදිංචිව සිටි තැනින්  නව පදිංචියට ගොස් අලුත් උණුසුම් නිවාස ලැබී ඇත. ඒ අතර ම රටේ පැල්පත් ප්‍රදේශ ප්‍රතිසංස්කරණ කිරීමෙන් නව නිවාස මිලියන 6ක් කල්ඇතිව ඉදිකර අවසන් කිරීමට රජය සමත් විය. ගෙවී ගිය වසරේ ජනතාවට අදාළ විවිධ ව්‍යායාම් සීග්‍රයෙන් වර්ධනය වෙමින් රටේ ජෛව පරිසරය ක්‍රම ක්‍රමයෙන් යහපත් වී තිබෙන බව දක්නට ඇත. චීන ජනතාව ආරක්ෂාව සහිතව පෙරට වඩා සතුටින් හා තෘප්තියෙන් ජීවත් වන බව රහසක් නොවේ. එබැවින් පූර්ණ අන්දමින් සශ්‍රීක සමාජයක් ගොඩ නැගීමේ ඉලක්කය කරා අපි තවත් ළඟා වී ඇතැයි කිව හැකිය.

 2017 වසරේ විද්‍යා තාක්ෂණ හා ඉදි කිරීම් ව්‍යාපෘති ක්ෂේත්‍රවල අපි දැවැන්ත ප්‍රගතියක් ලබා ගැනීමට සමත්ව සිටිමු. “පියවි දෑස”නම් චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීම, විශාල පරිමාණ “C919” මගී ගුවන් යානාව පියාසර කිරීම, ක්වන්ටම් පරිගණකය සාර්ථකව නිපදවීම, මුහුදු ජල වී වගාව අත්හදා බැලීම , පළමු දේශීය නිෂ්පාදිත යුධ ගුවන් යානා ප්‍රවාහක නෞකාව දියත් කිරීම,  “ මුහුදු පියාපත් ” නම් ගැඹුරු මුහුදු ග්ලයිඩර් ගුවන් යානය අත්හදා බැලීම, මුහුදු ප්‍රදේශයේ  ඇවිලෙන අයිස් සාර්ථකව ලබාගැනීම, යං ශාන් වරාය ව්‍යාපෘතියේ හතරවැනි අදියරේ ස්වයංක්‍රීයකරණ වරාය විවෘත කිරීම, හොංකොං- චු හයි- මැකව් මහ පාලම ජනතා අයිතියට පැවරීම, ෆු ශිං නම් අධිවේග දුම්රිය සේවා ජාලය රට පුරා ක්‍රියාත්මක කිරීම...මේ ආදී වශයෙන් අප අත්කර ගත් විශිෂ්ට ජයග්‍රහණ රැසකි. චීන ජනතාවගේ අපරිමිත නිර්මාණශීලිත්වය වෙනුවෙන් මම අත්පොළසන් දෙමි !

2017 වසරේ අපි චීන මහජන විමුක්ති හමුදාව ස්ථාපිත කිරීමේ 90වැනි සංවත්සරය සැමරු වෙමු. ඒ “චු රි හ”හි හමුදා පුහුණු කඳවුරේ යුද අභ්‍යාසයක් පැවැත්වීමෙනි. හොංකොං විශේෂ පරිපාලන කලාපය ආපසු මව්රටට එක්වීමේ 20වැනි සංවත්සරය 2017 වසරේ යෙදී තිබිණ. ඒ වෙනුවෙන් හොංකොංහි පැවති වි‍ශේෂ සැමරුම් උත්සවයට මම සහභාගි වුණෙමි. මව්රටේ දැඩි අනුබලයෙන් යුතුව දිගුකාලීන සමෘද්ධිය හා ස්ථාවරත්වය හොංකොං විශේෂ පරිපාලන කලාපයේ රැඳී ඇතැයි එම අවස්ථාවේදී මම සියැසින් දුටුවෙමි. හොංකොංට වඩාත් දීප්තිමත් අනාගතයක් හිමි බව මාගේ විශ්වාසයය. ඉතිහාසය මතක තබාගෙන සාමය පැතීමේ අරමුණින් අපි ජපාන ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමේ ජාතික ව්‍යාපාරයේ  80වැනි සංවත්සරය වෙනුවෙන් සැමරුම් උත්සවයක් පැවැත්වූයෙමු. එම යුධ කාලයේ ජපාන හමුදා අතින් ඝාතනයට ලක්වූ නැන් ජිං නගරවැසියන් අනුස්මරණ කිරීමේ ජාතික උත්සවයද පැවැත්විණ.

 2017 වසරේ චීනය බහුපාර්ශවික රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාකාරකම් රැසක් සංවිධානය ක‍ළේය. එක් තීරයක් එක් මාවතක් ජාත්‍යන්තර සහයෝගතා පිළිබඳ ප්‍රථම නායක සමුළුව,  බ්‍රික්ස් රටවල නායකයන්ගේ ෂියාමන් හමුව සහ චීන කොමියුනිස්ට් පක්ෂය හා ලෝක දේශපාලන පක්ෂ අතර ඉහළ පෙළේ සංවාදය ඒ අතරින් ප්‍රධානය. එම කාලයේ ජාත්‍යන්තර මට්ටමින් පැවති වැදගත් බහුපාර්ශ්වික සමුළු රැසකට ද මම සහභාගි වුණෙමි. 2017 වසර ආරම්භයේ පැවති ඩාවොස් ලෝක ආර්ථික සාකච්ඡාවේ වාර්ෂික සැසිවාරයට මම එක් වූයෙමි. ජිනිවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදී මා දේශනයක් සිදු කළේය. ජී-20 කණ්ඩායමේ නායක සමුළුව සහ එපෙක් සංවිධානයේ නිල නොවන නායක සමුළුව සඳහා ද මම සහභාගි වුණෙමි. එවන් අවස්ථාවලදී මම සෙසු රටවල රාජ්‍ය නායකයන් සමඟ ගැඹුරින් අදහස් හුවමාරු කර ගත්තෙමි. ලෝක ජනතාවගේ සුබසිද්ධිය සලකා මානව සංහතියේ පොදු ඉරණමක් සහිත ජගත් ප්‍රජාවක් ගොඩ නැගීම පිළිබඳ මා ඉදිරිපත් කළ මතයට ඔවුන් එකඟතාව පළ කර තිබේ.

2017 වසරේ මට ජනතාවගෙන් ලිපි බොහොමයක් ලැබී තිබේ. මට ලිපි යොමු කළ පිරිස අතරින් ටිබෙට් ස්වායත්තයේ ලොං සි කෝරළයේ යු මයි ගම්වැසියන්,  ඇතුළු මොංගෝලියානු ස්වායත්තයේ සු නි ට යෝ ප්‍රදේශයේ එඬෙරුවන්, ශි අන් ගමනාගමන විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්වරු සහ නැන් කයි විශ්වවිද්‍යාලයේ නවක සිසුහු ද වෙති. ඔවුන් මට ලියූ කරුණු කියවා මා තුළ විශාල හැඟීමක් පහළ විය. දේශප්‍රේමී හැඟීමෙන් යුතුව සහ කැපවීමෙන් යුතුව කටයුතු කරන සමස්ත චීන ජනතාව මෙලොව ශ්‍රේෂ්ඨතම ජනතාවක් බව මට හැගේ. එමෙන් ම අපට ලැබී ඇති සියලු යහපත බිහි වන්නේ අපගේ අප්‍රතිහත උත්සාහයෙන් බව මම පැවසීමට කැමැත්තෙමි.

 සහෝදරවරුනි, මිත්‍රවරුනි, නෝනාවරුනි, මහත්වරුනි,

2018 වසර චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනයේ ජීවගුණය පූර්ණ වශයෙන් ක්‍රියාවට නංවාලීම සඳහා වන මුලාරම්භයක් බව කිව හැකිය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනය චීන‍යේ ඉදිරි වසර 30 වෙනුවෙන් දීප්තිමත් සැලැස්මක් සකස් කර තිබේ. මහ මන්දිරයක් ඉදි කරනුයේ අඩිතාලමෙනි. එම සැලැස්ම සැබෑ කරගැනීමට නම් අප වචනයෙන් නොව ක්‍රියාවෙන් පියවරෙන් පියවර ඉදිරියට ගමන් කළ යුතුය.

චීනය ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර 2018 වසර වන විට වසර 40ක් සම්පූර්ණ වෙයි. ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය, වත්මන් චීනයේ සංවර්ධනය හා දියුණුව වෙනුවෙන් සහ චීනයේ සිහිනය සාක්ෂාත් කිරීම වෙනුවෙන් යා යුතුම මාවතකි. එබැවින් ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ 40වැනි සංවත්සරය සනිටුහන් කරමින් අප මෙම ප්‍රතිපත්තියෙහි අඛණ්ඩවම අනුගමනය කළ යුතුය.

වසර 2020 වන විට ග්‍රාමීය දිළිඳු ජනතාව සියල්ලන්ම දිළිඳුකමින් මුදවා ගැනීම අප ලබා දුන් බැරූරැම් ප්‍රතිඥාවකි. මෙම ප්‍රතිඥාව අපි සැබෑ කර ගත යුතුමය. මේ සඳහා අපට වසර 3ක කාලයක් පමණක් ඉතිරිව ඇත. අප සියලු දෙනාම එකමුතු වී ගත හැකි සියලු පියවර ක්‍රියාත්මක කරමින් නව ජයග්‍රහණයක් අත්කර ගත යුතුය. වසර 3කින් පසු සියලු දිළිඳු ග්‍රාමීය ජනගහණය දිළිඳුකමින් මුදවා ගැනීමට අප සමත් වුව‍හොත් වසර දහස් ගණනාවක චීන ජාතික ඉතිහාසයේ පෙර නොවූ විරූ ජයග්‍රහණයක් අප ලබා ගනු ඇතැයි සඳහන් කළ හැකිය. අපේ රටට සහ මානව සංහතියට ඉතා වැදගත් වන මෙම උතුම් සේවය වෙනුවෙන් අපි එක්ව උත්සාහ දරමු.

සාමය හා සංවර්ධනය පිළිබඳ ඉදිරි දර්ශනය ගැන කතා කිරීමේදී අද විවිධ රටවල් විවිධ මතයන් දරයි. මේ පිළිබඳ චීනයේ ස්ථාවරය සහ ආකල්පය ලෝකයාගේ අවධානයට ලක්ව ඇත. විවිධ රටවල් හා ජාතීන්ට අයත් වුව ද අපට ඇත්තේ එක පවුලකි. මෙම පවුලේ වගකීම් සහගත රටක් වශයෙන් චීනයට මෙම මොහොතේ යමක් පැවසීමට තිබේ. චීනය සෑම විටම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකාරිය රැක ගන්නා අතර සිය ජාත්‍යන්තර වගකීම් හා යුතුකම් සක්‍රිය ව ඉටු කරමින් සිටී. චීනය ගෝලීය දේශගුණ විපර්යාසයන්ට මුහුණු දීම පිළිබඳ පොරොන්දුව ඉටු කරමින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉදිරියට පවත්වාගෙන යයි. ලෝක සාමය, ගෝලීය සංවර්ධනය සහ ජාත්‍යන්තර පටිපාටිය සඳහා චීනය සෑම විට ම ධනාත්මක කාර්යභාරය ඉටු කරයි. මානවයාගේ සමෘද්ධිය සහ සාමකාමී හා සුන්දර අනාගතය වඩාත් ඉහළ මට්ටමින් නිර්මාණය කිරීම වෙනුවෙන් චීන ජනතාව ලෝකයේ වෙනත් රටවල ජනතාව හා එක් ව කටයුතු කිරීමට බලාපොරොත්තුවෙයි.

 සහෝදරවරුනි, මිත්‍රවරුනි, නෝනාවරුනි, මහත්වරුනි,

මෙතෙක් අප ලබා ඇති දැවැන්ත සංවර්ධන ජයග්‍රහණ ජනතාව විසින් නිර්මාණය කරන ලද්දකි. එබැවින් මෙම ජයග්‍රහණ ජනතාව විසින් ම භුක්ති විඳිය යුතුය. අධ්‍යාපනය, රැකියා නියුක්තිය, ආදායම්, සමාජ රක්ෂණ, වෛද්‍ය සේවා, වියපත් පුද්ගල ආරක්ෂණ, නිවාස, පරිසරය ඇතුළු කරුණු කෙරේ අපේ ජනතාව වැඩි සැලකිල්ලක් දක්වන බව මම දැනිමි. ගෙවී ගිය වසරේ බොහෝ යහපත් දෑ ලැබී තිබෙන අතර විවිධ ගැටළු හා ප්‍රශ්නවලට මුහුණ දීමටද අපට සිදුවිය. ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමේදී අපගේ රාජකාරී කටයුතුවල යම් යම් අඩුපාඩු තිබිණ. එබැවින් ඉදිරියේදී අප වඩාත් වගකීම් සහගත ව ජනතාවට සේවය කළ යුතුය. අප කොමියුනිස්ට් පක්ෂයේ විවිධ මට්ටමේ කමිටු , විවිධ මට්ටමේ රජයන් සහ එහි සිටින නිලධාරීන් සෑම විට ම ජනතාවගේ සැප දුක පිළිබඳ විමසා බැලිය යුතුය. ජනතාවට සේවය කිරීම සහ ජනතාවට සෙත සලසා දීම අපගේ පරම අරමුණය. අපි ජනතාවට වඩාත් සතුටින් පිරි ජීවිතයක් ලබා දිය යුතුය.

ස්තුතියි!

 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති