මිනොසිටා උද්ඝෝෂණයන් ගෙන් තවත් අර්බුදයකට මුහුණ දෙන ඇමරිකාව

2020-05-30 21:40:12
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඇමරිකාවේ Minnesota ජනපදයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන තිබේ. ඊට හේතු වී ඇත්තේ පොලිස් අත් අඩංගුවේදී කළු ජාතිකයෙකු මිය යාම ය. පසුගිය 25වැනි දා ව්‍යාජ මුදලින් භාණ්ඩ මිළදී ගැනීමේ සැකය මත 46 හැවිරිදි George Floyd නම් කළු ජාතික පුද්ගලයා අත්අඩංගුවට පත් විය. තමාට හුස්ම ගැනීමට නොහැකි බවට කිහිප වරක්ම අයැද සිටියද එක් පොලිස් නිලධාරියෙක් සිය දණහිස ප්‍රදේශයෙන් George Floydගේ ගෙල පෙදෙස විනාඩි කිහිපයක් සිර කරගෙන සිටීමෙන් ඔහු මිය ගියේ ය.

මේ වන විට මෙම අමානුෂික ක්‍රියා සිදු කළ සුදු ජාතික පොලිස් නිලධාරියා තනතුරින් ඉල්ලා අස් වුව ද George Floydගේ මරණයෙන් ඇති වූ විරෝධතා රැලි නතර වී නොමැත. Minnesota ජනපදයේ සිට ව්‍යාප්ත වෙමින් පවතින විරෝධතා, කොරොනා වසංගතයෙන් පෙළෙන ඇමරිකාවට තවත් ප්‍රබල පහරක් වී ඇත. ජනවාර්ගික වෙනස්කම් ඇමරිකානු සමාජයේ දිගුකලක් පුරා පවතින තත්ත්වයකි. අප්‍රිකානු සම්භවය සහිත කළු ජාතිකයෝ එදිනෙදා ජීවිතයේදී විවිධ අසාධාරණයන්ට මුහුණ දී සිටිති. සුදු ජාතික පොලිස් නිලධාරීන් ඔවුන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම නිරන්තරයෙන් ඇමරිකානු සමාජයේ දක්නට ලැබේ. කොරොනා වසංගත තත්ත්වය ඇමරිකාවේ උග්‍ර වීමත් සමග කළු ජාතිකයන් මුහුණ දී සිටින නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබීමේ ගැටළු වඩාත් ඉස්මතු වී ඇත. කළු ජාතිකයන්ට කොරොනා ආසාදනය වීමේ අනුපාතය සුදු ජාතිකයන්ට වඩා බොහෝ සෙයින් ඉහළ මට්ටමින් පවතින බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.

කලහකාරී‍ ලෙස හැසිරුණු විරෝධතාකරුවන් ගිනි තැබීම් සිදු කරමින් ව්‍යාපාරික ස්ථාන කොල්ලකෑම වැනි ක්‍රියාවන්හි නිරත වීම හේතුවෙන් Minnesota ජනපදයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. මේ අතර, නිරායුධ අප්‍රිකානු සම්භවය සහිත ඇමරිකානුවන් පොලීසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීමට ඇමරිකා බලධාරීන් බරපතල ක්‍රියාමාර්ග ගත යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය අවධාරණය කර තිබේ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති