චීන ජනාධිපතිවරයාගේ ජනතා මූලික චින්තනය යටතේ චීනය නියමිත ඉලක්ක සැබෑ කර ගනු ඇති බවට අපේක්ෂා

2020-05-27 20:20:27
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn


පාලක කොමියුනිස්ට් පක්ෂයේ මූලය ජනතාව සමග බැඳී තිබෙන බවත් ජනතාව කේන්ද්‍ර කර ගනිමින් රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යන බවත් බෙයිජිංහි පැවැත්වෙන චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිය හා චීන මහජන දේශපාලන උපදේශක සභාවේ වාර්ෂික සැසියට එක් වෙමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා යළි යළිත් සඳහන් කර තිබේ. එම සැසිවාර දෙක සඳහා චීනයේ විවිධ පළාත්වලින් මහජන නියෝජිතයෝ විශාල පිරිසක් බෙයිජිං නුවරට පැමිණ සිටිති. ඒ අතරින් හු බෙයි පළාතේ මහජන නි‍යෝජිතයන් ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ විශේෂ සැලකිල්ලට ලක් වී තිබේ. කොරොනා වසංගත පාලනයේදී වු හාන් නගරය ඇතුළු හු බෙයි පළාතේ කෝටි 6ක ජනතාව අප්‍රමාණ පරිත්‍යාගයක් කර තිබීම ඊට හේතු වී ඇත. ෂී ජින් පිං මහතා හු බෙයි පළාතේ නියෝජිත කණ්ඩායම සමග සාකච්ඡාවක් පවත්වමින් සිටියදී වු හැන් නගරයේ නියෝජිතවරියක් ජනාධිපතිවරයාට හිසා නමා ‍ගෞරවය පුද කළා ය. තමා සිටින ජන නිවාස ප්‍රජාවේ ජනතාව වෙනුවෙන් ෂී ජින් පිං මහතාට ගෞරවාදරය පිරිනමන බව ඇය එහිදී පැවසුවා ය.

කොරොනා වසංගත පාලනයේදී හෝ වේවා රටේ ආර්ථික සංවර්ධනයේදී හෝ වේවා ජනතාව කේන්ද්‍ර කර ගනිමින් කටයුතු කිරීම , ෂී ජින් පිං මහතාගේ නායකත්වයෙන් යුත් චීන රජයේ ස්ථිර ක්‍රියාකලාපය වේ. චීන මහජන දේශපාලන උපදේශක සභාවේ වාර්ෂික සැසියට එක් වූ ආර්ථික ක්ෂේත්‍රයේ නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වීමේදී චීන ජනාධිපතිවරයා වත්මන් චීන ආර්ථික තත්ත්වය විශ්ලේෂණය කරමින් අර්බුදයෙන් නව අවස්ථා සොයා ගත යුතු බව පෙන්වා දුන්නේ ය. දිළිඳු ජනතාවගේ ජීවිත නගා සිටුවීම සෑම විට ම තම සිතේ රඳවා ගන්නා එතුමා එහිදී අවධාරණය කළේ දිළිඳු ජනතාව විශේෂයෙන් දිළිඳු ගොවි ජනතාව සම්පූර්ණයනේ දරිද්‍රතාවයෙන් මුදා ගත යුතු බවයි.

මේ වසරේ සම්පූර්ණයෙන් සැපපහසු චීන සමාජයක් ‍ගොඩ නැගීමටත් දුගී ජනතාව දිළිඳුකමින් සම්පූර්ණයෙන් මුදා ගැනීමටත් චීනය අපේක්ෂා කරයි. කොරොනා වසංගතයෙන් කොපමණ දුෂ්කරතා ඇති වුව ද චීන ජනාධිපතිවරයාගේ ජනතා මූලික චින්තනය යටතේ චීනය නියමිත ඉලක්ක සැබෑ කර ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති