පශ්චාත් වසංගත සමයේ සංචාරක කර්මාන්තය නැවත ගොඩනගන්නේ කෙසේ ද
2020-06-08 11:10:25
Share with:

එළඹෙන අගෝස්තු මස පළමුවැනිදා සිට විදෙස් සංචාරකයින් පිළිගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව අගෝස්තු මස පළමුවැනිදා සිට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ විසින් ලබා දී තිබෙන ආරක්ෂක මාර්ගෝපදේශන හා පූර්ව ආරක්ෂක පියවර සියල්ල අනුගමනය කරමින්, විදෙස් සංචාරකයින්ට රට විවෘත කිරීමට පියවර ගන්නා බව, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන්, 2020 මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දැඩි බලපෑමට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම මගී ගුවන් යානා සහ නැව් නවතාලීමත් සමඟ, 2020 මාර්තු තුන්වන සතියේ සිට සංචාරක පැමිණීම් නතර වුණා.

මෙම ප්‍රවණතාව සමඟ, 2019 මාර්තු මාසයේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 461 ක් වූ සංචාරක ඉපැයීම්, 2020 මාර්තු මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 135ක් දක්වා අඩු වී ඇතැයි තාවකාලිකව ඇස්තමේන්තු කර ඇති අතර, 2020 වසරේ පළමු මාස තුන තුළ සමුච්ඡිත සංචාරක ඉපැයීම, 2019 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් මිලියන 956ක් දක්වා සියයට 31.5කින් අඩු වුණා. වසංගතය මැඩපැවැත්වීම සඳහා වූ ගෙවීමක් ලෙස එය වැළැක්විය නොහැකි ප්‍රතිඵලයක් බව සඳහන් කෙරෙනවා. මුළු ‍ලෝකයට වසංගතයෙන් විවිධාකාර බලපෑම් එල්ල වී තිබෙනවා.

සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් අංශයක් බව කිව්වොත් නිවැරදියි. පශ්චාත් කොරොනා සමය උදා වීමත් සමග රටේ සමාජ මෙන්ම ආර්ථික රටාව ද නැවත ගොඩනගා ලීම සඳහා උත්සාහ දැරීම යුතුකමක්. වසංගතය පැතිර යාමේ අනතුරු වැළැක්වෙන අතරතුර, සංචාරක කර්මාන්තය නැවත ගොඩනැගීමටත් ශ්‍රී ලංකා රජය අවධානය යොමු කරමින් සිටිනවා. මෙරටට පැමිණෙන විදේශකයින්ට සුරක්ෂිත සේවාවක් ලබා දීම ඉතා වැදගත් සාධකයක්. විදේශිකයින්ගෙන් ශ්‍රී ලාංකික‍යින්ට කොරොනා පැතිර යාමේ අනතුර වැළැක්විය යුතු අතරතුර ම, විදේශ සංචාරකයින් වෙනුවෙන් සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කර දීමත් වැදගත්. එය විදේශ සංචාරකයින් ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙසට තොරා ගැනීමේ කේන්ද්‍රීය සාධකයක් බවට පත් විය හැකියි. සංචාරක නවාතැන්, පොදු ප්‍රවාහන පහසුකම්, ආහාර ඇතුළු සියලු අංශ වල කොරොනා පාලනය කිරීමේ සේවා පියවර ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙනවා.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන